20140102

ස්වර්ණමය අනුපාතය - 1 : 1.618





අදින් වසර දහයකට දොළහකට පෙර
ඉන්දියාවේ මදුරාසියේදී,
එනම් වර්තමාන චෙන්නායි හිදී
විශිෂ්ඨ සර්කස් සංදර්ශනයක් නැරඹුවෙමි.
එහි සුවිශේෂී අංග අතර
අප කවුරුත් හොඳින් දන්නා
මාරක ළිඳෙහි දිගුවක් ලෙස
ඊටවඩා බෙහෙවින් අවදානම් සහගත
මාරක ගෝලය තුළ මෝටර් සයිකල් පැදීම
මා දුටුවේ එදාය.

මෝටර් සයිකල්කරුවන් දෙදෙනෙක්
එම ගෝලය තුළ එක වර පදිනු දුටුවෙමි.
මේ පිළිබඳව තොරතුරු විමසන විට
සයිකල් කරුවන් සංඛ්‍යාව
අටදෙනෙක් වන සර්කස් කණ්ඩායම්
ලොව ඇති බව දැනගතිමි.


Garcia Family Thrill Riders කණ්ඩායමේ
Leo Garcia  විසින් 2006දී
කොටස් තුනකට වෙන්කළ හැකි
පලමු ගෝලය තැනුවේය.
ඒ වර්ගයේ එකම ගෝලය වන මෙම මාරක ගෝලය
පොළවෙන් අඩි පහක් ඔසවනු ලබයි.
Garcia Family Thrill Riders ක්‍රීඩකයන්
මැද කොටසේ සයිකල් පදිද්දී
ඉතිරි කොටස් දෙක අඩි හතරක පරතරයක් තබා
වෙන් කරනු ලැබෙයි.
මෙම අවස්ථාවෙහි මුලු ගෝලයම
අඩි විසිතුනක් ඉහළට එසවෙයි.

වාර්තාගතවී ඇති ආකාරයට
මාරක ගෝලය තුල මාරයා සමග ක්‍රීඩාකරන ළාබාලම මෝටර් සයිකල් කරුවා, 
Maximus Garciaගේ වයස (2006 අගෝ 16ට.) අවුරුදු 4 මාස 6 දින 8ක්.



වියපත්ම සර්කස් ක්‍රීඩකයා ලෙස 2010දී Rank Brasil සම්මානය දිනූ
බ්‍රසීල ජාතික Claudio Azevedo Rodriguesට මේ වනවිට වයස 69කි.

1949ත් 1997ත් අතර
මාරක ගෝලය ආශ්‍රිත මරණ තුනක්
පමණක් වාර්තා වී ඇත.

මේ ක්‍රීඩකයන්
මරණයට එරෙහිව ජීවිතය පරදු තබා
මාරක ගෝලය තුල ක්‍රීඩා කරන්නේ
ගුරුත්ව කේන්ද්‍රයත් ගුරුත්වාකර්ෂණයත් අතර
සමබරතාවය රැක ගනීමේ
ස්වර්ණමය රීතියට අනුවය.

එදිනෙදා ජීවිතයේ
සයිකලය පදින සාමාන්‍ය පුද්ගලයන්,
විශේෂයෙන්ම කුඩා දරුවන් සහ
වියපත් පුද්ගලයන්
සිය සිරුර පොළවට
අංශක අනූවකට ආසන්නව තබාගෙන
සයිකලය සමබර කරගනී.

සයිකල් පැදීමෙහි දක්ෂයා
අවශ්‍ය විටෙක සයිකලය ඇල කිරීමෙන්
සමබරතාවය රැක ගනියි.

සයිකලය ඇල කලත්
ඔහු ගුරුත්ව කේන්ද්‍රයත්
ගුරුත්වාකර්ෂණයත් අතර
ස්වර්ණමය සම්බන්ධතාවය
නොබිඳ පවත්වා ගනී.

ස්වභාව ධර්මය පවතින්නේ
සමතුලිත බව හා
එහි බිඳ වැටීමත් මතය.

සීරුවෙන් සිටගෙන සිටින කෙනෙක්
සමතුලිත තාවය බිඳ
ඉදිරියට පියවරක් තබා
ඒ පාදය මත මොහොතකට
සිරුර සමබර කරගෙන
තවත් පියවරක් තබයි.

ඇවිදගෙන යන පුද්ගලයා
එක් මොහොතක ගුරුත්ව කෙන්ද්‍රයත්
ගුරුත්වාකර්ෂණයත් අතර
සම්බන්ධතාවය බිඳින අතර
නැවත යළි ළබාගනියි.

දුවගෙන යන කෙනෙකු
දුවන අතර
සමතුලිතතාවය තබාගන්නා
කාල පරාසය ඉතා අඩුය.

එම කාලය අඩුවන තරමට
ඔහුත් ගුරුත්වාකර්ෂණයත් අතර
සම්බන්ධතාවයද අඩුවන අතර
ඔහුගේ නිදහසද වැඩිවෙයි.

සිහිය දියුණු කිරීමේ උපක්‍රමයක් ලෙස
සටන් කලාව පුහුණුවන
ශාඔලින්හි චීන භික්ෂූන්ට
සිරස් බිත්තියක් දිගේ දිවිය හැක.

සාමාන්‍ය සමතුලිතතාවයත්
සමතුලිතතාවය බිඳීමත් අතර
මේ දෙකටම අයත් නොවන
ස්වර්ණමය ලක්ෂ්‍ය්යක් පවතී.
එම ලක්ෂ්‍යය ක්‍රියාකාරීවනවිට
එම ලක්ෂ්‍යය ගමන් කරන
ස්වර්ණමය රේඛාව  වක්‍රයකි.

මේ ස්වර්ණමය ලක්ෂ්‍ය සහ වක්‍ර
කුඩා දරුවාට මෙන්ම මහල්ලාටද
ගල් යුගයේ ගෝත්‍රිකයාට මෙන්ම
නූතන විද්‍යාඥයාටද පොදුය.


1 : 1.618ක් ලෙස දැක්වෙන ස්වර්ණමය අනුපාතය
ස්වභාව ධර්මයෙහි නිතරම දක්නට ඇති
පොදු අනුපාතයකි.
DNA අණුව, මිනිස් සිරුර, ( උද: ඇඟිලි පුරුක් අතර,
හිසේ සිට නාභියත්, නාභියේ සිට පාදයත් අතර දුර )
ගස් වල අතු ඉති බෙදෙන ආකාරය,
මල්වල රේණු විහිදෙන ආකාරය ආදී වශයෙන්
ස්වභාව ධර්මයෙහි දක්නට ලැබෙන
මෙම ස්වර්ණමය අනුපාතය
චිත්‍ර ශිල්පය, මූර්ති ශිල්පය,
ගෘහ නිර්මාණ ශිල්පය, ඡායාරූප ශිල්පය,
වෙළඳ ප්‍රචාරණය ආදී
විවිධ ක්ශේත්‍රවල දක්ෂයින්
සිය නිර්මාණ වලට
නොයෙක් ආකාරයෙන් යොදාගෙන ඇත.

යහපත තනි හැඩයකින් නොලැබේ නම්
එය අංග තුනකින් සමන්විත විය යුතුයැයි
සොක්‍රටීස් පවසා ඇත.
එනම්,
සෞන්ද්‍රයය, නිසි අනුපාතය හා සත්‍යයි.

සෞන්දර්යයත්,
සත්‍යයත් පවතින තැනක
නිසි අනුපාතය වන්නේ
ස්වර්ණමය අනුපාතයද?.